නිදහස ලැබුණත් ෆොන්සේකා හිරවෙලා

Friday, May 18, 2012


සරත් ෆොන්සේකා මහතා නිදහස් කරනු ලැබුවත් ඒ මහතා සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩු අවසන් නොවන බව කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යෘලයේ නීති පීඨාධිපති ප‍්‍රතිභා මහානාම මහතා පවසනවා. එම නඩු අවසන් කළ හැක්කේ ගොනුකර ඇති චෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පමණක් බවයි  ප‍්‍රතිභා මහනාම මහතා පෙන්වා දුන්නේ.
සරත් ෆොන්සේකා මහතා සිරදඬුවම් ලැබුවේ යුධ අධිකරණය විසින් විභාග කෙරුණු නඩුවකින්. එම නඩුවේ තීන්දුවට අනුව සරත් ෆොන්සේකා මහතා හමුදාවේ දැරූ නිලයන් ද අහෝසි කෙරුණා. කොළඹ මහාධිකරණයේ විභාග වු සුදු කොඩි නඩුවෙන් ද සරත් ෆොන්සේකා මහතා වරදකරු කෙරුණත් ඉන් පනවන ලද සිරදඬුවම තවමත් ක‍්‍රියාත්මක වන්නේ නැහැ. එම නඩුවේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ගොනු කර තිබීම ඊට හේතුවයි. 
හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ද සරත් ෆොන්සේකා මහතාට කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණා. එහෙත් එම නඩුවෙන් සරත් ෆොන්සේකා මහතා නිදොස් කර නිදහස් කරන බවයි මහාධිකරණය ඉකුත් දා ප‍්‍රකාශ කළේ. 

හමුදාවෙන් පලා ගිය පිරිසක් වැටුප් සහ නවාතැන් දී රාජ්‍ය පාක්‍ෂික භාවයෙන් ඉවත් කළේ යැයි සරත් ෆොන්සේකා මහතාට පනවා ඇති නඩුව තව දුරටත් විභාගයට ගැනෙනවා. ඒ යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සරත් ෆොන්සේකා මහතා ඇප මත මුදා හරින බවයි කොළඹ මහාධිකරණය අද ප‍්‍රකාශ කළේ.  එහෙත් සුදු කොඩි නඩුවේ අභියාචනය අවසන් නොවන නිසා ජනාධිපතිවරයාගෙන් නිදහස නොලැබුණ හොත් තව දුරටත් රක්‍ෂිත බන්ධනාගාරයේ සිටිමට සරත් ෆොන්සේකා මහතාට සිදුවනවා.  

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum