බොදු පුද බිමක නාවික හමුදා කදවුරක් ?

Wednesday, July 18, 2012


බෞද්ධ විහාරස්ථාන සහ පුරාවස්තු පිහිටි බිමක් නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය විසින් අවිධිමත්ව අත්පත් කරගෙන ඇතැයි නෙත් එෆ් එම් රේඩියෝව ඉකුත් 14 දා අනාවරණ කළා. රජයේ රක්ෂිතයක අක්කර 840ක්ද , කෘෂි ඉඩම් සමූහයක්ද එලෙස අත්පත් කරගෙන ඇති බවයි වැඩිදුරටත් අනාවරණ කෙරුණේ. අම්පාර, ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාගම්වෙල රජයේ කැලෑව එම රක්ෂිතයයි. අත්පත් කරගෙන ඇති සෙසු ඉඩම් ප‍්‍රමාණය අක්කර 380ක් පමණ වනවා. ඒ අම්පාර ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාගම්වෙල ප‍්‍රදේශයෙන් අක්කර 265ක් සහ ශාස්ත‍්‍රවෙල ප‍්‍රදේශයෙන් අක්කර 115ක් වශයෙන්. ඒවාට ඇතුළුවීම නාවික හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැර සෙසු අයට තහනම් කර තිබෙනවා. 
මේ අතර අත්පත් කර ගැනුනු ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන්නේ ඉපැරණි සෙල් ලිපි දෙකක්, කටාරම් සහිත ගල්ලෙන් , ගරා වැටුණු චෛත්‍යයක්, සක්මන් මළුවක් සහ ආරාමද ඇතුළත් පානම සමුද්‍රගිරි විහාරයයි. රාගම්වෙල ප‍්‍රදේශවාසීන් විසින් ඉදිකෙරුණු බැලූම්කාරාරාම විහාරයද ඉපැරණි බිතුසිතුවම් හා ගල්කණුද සහිත මනිනාග පබ්බත විහාරයද අත්පත් කර ගැනුනු ප‍්‍රදේශයේ පිහිටා තිබෙනවා. 
නෙත් නිවුස් වැඩිදුරටත් අනාවරණ කළේ එම ප‍්‍රදේශ අත්පත් කරගෙන ඇත්තේ ඉදිකිරීම් කිහිපයක් සඳහා බවට පසුව කළ සොයා පෙනීගිය බවයි. රණවිරු ගම්මානයක් හෝටල් සංකීර්ණයක් සහ නාවික හමුදා කඳවුරක් ඉදිකිරීමට යෝජිතව ඇතැයි පරිසර සංරක්ෂණ භාරය පැවසුවා. 
කෙසේ වෙතත් නාවික හමුදාවපවසා තිබෙන්නේ කිසිදු ප‍්‍රදේශයක් අවිධිමත්ව අත්පත් කර නොගත් බවයි. උක්ත ප‍්‍රදේශය රජයේ ඉඩම් බවත්, ආරක්ෂක අමාත්‍යංශය විසින් ඒවා පවරා දුන් බවත් නාවික හමුදා ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පවසා තිබෙනවා. රණවිරු ගම්මානයක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතව ඇතැයි කෙරෙණ ප‍්‍රකාශයද ප‍්‍රතික්‍ෂෙප කරන බවයි කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් පවසා තිබෙන්නේ. නාවික හමුදා කඳවුරක් පමණක් ඉදිකෙරෙන බවද , ඊට හේතුව වෙරළේ හා මුහුදේ ආරක්ෂාව තහවුරු කිරීම බවද අවධාරණය කර තිබෙනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum